රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් අද (අප්‍රේල් 04) උදෑසන 8.00 සිට ආරම්භ කරන ලද දීපව්‍යාප්ත සංකේත වර්ජනය හෙට උදෑසනින් අවසන් කරන්නේද නැතහොත් තවදුරටත් දීර්ඝ කරන්නේද යන්න පිළිබඳව තීරණය කිරීම සඳහා හදිසි විධායක සභා රැස්වීමක් කැඳවා තිබේ. වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාවලිය සම්බන්ධයෙන් පවතින ගැටලුවලට බලධාරීන් නිසි විසඳුම් ලබා නොදීමට එරෙහිව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් කර ඇති අතර, මේ හේතුවෙන් දිවයින පුරා රෝහල් රැසක බාහිර රෝගී අංශ ඇතුළු ප්‍රතිකාර සේවාවලට අද දිනය පුරා දැඩි බාධා එල්ල විය.
කෙසේ වෙතත්, රෝහල්වල හදිසි ප්‍රතිකාර සේවා, මාතෘ හා ළමා රෝහල්, වකුගඩු හා පිළිකා රෝහල්වල ප්‍රතිකාර කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට සංගමය පියවර ගෙන තිබුණද, සාමාන්‍ය සායන සඳහා පැමිණි රෝගීන් විශාල පිරිසක් දැඩි අපහසුතාවයට පත් වූ බව වාර්තා වේ. වෛද්‍ය මාරු කිරීම් සම්බන්ධයෙන් පවතින ව්‍යවස්ථාපිත එකඟතාවන් උල්ලංඝනය කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරන බවට සංගමය චෝදනා කරන අතර, රජයෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණහොත් වර්ජනය තවදුරටත් දැඩි කිරීමට විධායක සභාවේදී තීරණය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
පවතින උණුසුම් කාලගුණය සහ මැදපෙරදිග යුදමය තත්ත්වය නිසා ඇති වී තිබෙන ඖෂධ හිඟය හමුවේ වෛද්‍ය වර්ජනය ක්‍රියාත්මක වීම සෞඛ්‍ය ක්ෂේත්‍රයට එල්ල වී ඇති අතිරේක පීඩනයකි. හෙට (අප්‍රේල් 05) උදෑසන 8.00 ට වර්ජනය අවසන් කිරීමට නියමිතව තිබුණද, අද රාත්‍රියේ පැවැත්වෙන මෙම තීරණාත්මක සාකච්ඡාවෙන් පසුව වර්ජනයේ ඉදිරි ගමන් මග පිළිබඳව නිල නිවේදනයක් නිකුත් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.














