රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් දෙවන වරටත් ක්‍රියාත්මක කරන ලද සංකේත වැඩවර්ජනය අද (අප්‍රේල් 03) පෙරවරු 8.00 ට අවසන් වුණා. සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන් 453 දෙනෙකුගේ ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ කළ මෙම වර්ජන ක්‍රියාමාර්ගය තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යන්නේද යන්න පිළිබඳව තීරණය කිරීම සඳහා එම සංගමයේ විධායක සභා රැස්වීමක් අද දිනයේදී පැවැත්වීමට නියමිතයි.
වැඩවර්ජනය ක්‍රියාත්මක වූ කාලසීමාව තුළ ඇතැම් රෝහල්වල වෛද්‍යවරුන් ඊට සහභාගී වී සිටියද, දිවයිනේ බොහෝ රෝහල්වල කටයුතු සාමාන්‍ය පරිදි බාධාවකින් තොරව සිදු වූ බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත්, GMOA සංගමය විසින් නිරන්තරයෙන් ගනු ලබන මෙවැනි වැඩවර්ජන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ක්ෂේත්‍රයේම ඇතැම් වෛද්‍යවරුන් පවා සිය විරෝධය පළ කර තිබෙනවා.
මේ පිළිබඳව අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුනි මහතා ප්‍රකාශ කර සිටියේ, මෙරට ප්‍රධානතම වෛද්‍ය සංගමය වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මීට වඩා විනයකින් සහ දැඩි වගකීමකින් යුතුව කටයුතු කළ යුතු බවයි.














