රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දැඩි කරමින්, අලුතින් ස්ථාපිත කරන ලද ප්‍රාථමික සෞඛ්‍ය ඒකකවල සේවයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ. පවතින කාර්ය මණ්ඩල හිඟය සහ පද්ධතිමය ගැටලු හමුවේ මෙම නව ඒකක අනවශ්‍ය බව එම සංගමය අවධාරණය කරයි.
පෙබරවාරි 18 වනදා සිට ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරීන් විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මධ්‍යම දත්ත පද්ධතියට තොරතුරු ලබා දීම නතර කර ඇත. මෙය ජාතික සෞඛ්‍ය සේවයේ සම්බන්ධීකරණයට දැඩි බාධාවක් වී තිබේ. රෝහල්වල බාහිර රෝගී අංශවල (OPD) ඖෂධ නොමැති අවස්ථාවලදී ඒ සඳහා වට්ටෝරු (Prescriptions) නිකුත් කිරීම ද වෛද්‍යවරුන් ප්‍රතික්ෂේප කර ඇත.
සියලුම වෛද්‍යවරුන් ඇතුළත් වන පරිදි “ශ්‍රී ලංකා වෛද්‍ය සේවය” නමින් වෙනම සේවාවක් ස්ථාපිත කිරීම, DAT දීමනාව යාවත්කාලීන කිරීම සහ අතිරේක රාජකාරි දීමනාව ස්ථාවර ගෙවීමක් බවට පත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම ක්‍රියාමාර්ග දියත් කර තිබේ. පූර්ණ වැඩවර්ජනයක් දක්වා මෙය ව්‍යාප්ත වී නොමැති වුවද, බාහිර රෝගී අංශවල ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන දහස් සංඛ්‍යාත රෝගීන් දැනටමත් දැඩි දුෂ්කරතාවට පත්ව සිටිති.
















