රජය පනවා ඇති ඉන්ධන සීමා කිරීම් හේතුවෙන් ඉදිරියේදී මෙරට රෝහල් පද්ධතියේ කටයුතු පවත්වාගෙන යාම දැඩි අවදානමකට ලක්විය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) අනතුරු අඟවයි. නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකයින්ට සේවයට වාර්තා කිරීම සඳහා ප්‍රායෝගික ඉන්ධන ලබාගැනීමේ ක්‍රමවේදයක් මෙතෙක් සකස් කර නොමැති බවයි.
මෙම ගැටලුව සම්බන්ධයෙන් මැදිහත් වන ලෙස ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබුණද, සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු වගකිවයුතු බලධාරීන් මෙතෙක් ඊට නිසි අවධානයක් යොමු කර නොමැති බව GMOA සංගමය චෝදනා කරයි. මේ සම්බන්ධයෙන් තීරණාත්මක පියවරක් ගැනීම සඳහා දිවයින පුරා විසිරී සිටින නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් යුත් හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් හෙට (17) පැවැත්වීමට නියමිතය.
එමෙන්ම, ප්‍රාථමික සෞඛ්‍ය සේවාවේ ගැටලු සම්බන්ධයෙන් අධ්‍යයනය කළ විශේෂ කමිටු වාර්තාව ද හෙට ඉදිරිපත් කිරීමට නියමිත අතර, පවතින තත්ත්වය සමාලෝචනය කර වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ඇතුළු තීරණාත්මක තීන්දු රැසක් එහිදී ප්‍රකාශයට පත් කරන බව එම සංගමය වැඩිදුරටත් අවධාරණය කරයි.














