හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු අගවිනිසුරු මෙන්ම හිටපු නීතිපතිවරයෙකු වන මොහාන් පීරිස් මහතා ලබන මාර්තු 17 වනදා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවට කැඳවා තිබේ. කොළඹට ආසන්න ප්‍රදේශයක පිහිටි රජයේ නිවාස සංකීර්ණයක නිවාස ඒකක කිහිපයක් පුද්ගලයින් පිරිසකට වෙන් කිරීම සඳහා නීති විරෝධී ලෙස නිර්දේශ කිරීම සහ ලිපි නිකුත් කිරීම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව මෙම කැඳවීම සිදු කර ඇති අතර මෙම සිදුවීම ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ සමයේ සිදුවූවක් බව වාර්තා වේ. අදාළ නිවාස වෙන්කිරීම් සම්බන්ධයෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ගෙන් මීට පෙර ලබාගත් ප්‍රකාශවලින් හෙළි වූ තොරතුරු මත හිටපු ජනාධිපතිවරයාගෙන් සහ හිටපු නීතිපතිවරයාගෙන් වැඩිදුර කරුණු විමසීමට කොමිසම තීරණය කර ඇති අතර මීට අමතරව ‘අරගලය’ සමයේ ගාලුමුවදොර විරෝධතාකරුවන්ට එල්ල වූ ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් කරුණු විමසීමට ද ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.














