මහ කන්නයේ වී අස්වැන්න මිලදී ගැනීම සඳහා රජය මුලින් වෙන් කර තිබූ රුපියල් මිලියන දස දහසක ප්‍රතිපාදන අවශ්‍යතාවය පරිදි තවදුරටත් ඉහළ දැමීමට පියවර ගෙන ඇති බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි. වී අලෙවි මණ්ඩලයේ ගබඩා අලුත්වැඩියා කර ධාරිතාව ඉහළ නැංවීමත් සමඟ මෙම තීරණය ගෙන තිබේ.
වී අලෙවි මණ්ඩලයේ ගබඩා අලුත්වැඩියා කිරීමේ වැඩසටහන යටතේ මෙවර ගබඩා ධාරිතාව මෙට්‍රික් ටොන් 2,000කින් ඉහළ නංවා ඇති අතර මිලදී ගන්නා මධ්‍යස්ථාන සංඛ්‍යාව ද වැඩි කර ඇත. ගොවීන්ගෙන් වී මිලදී ගැනීමේදී නාඩු වී කිලෝවක් රුපියල් 120කට ද, සම්බා වී කිලෝවක් රුපියල් 130කට ද සහ කීරි සම්බා වී කිලෝවක් රුපියල් 140කට ද මිලදී ගැනීමට රජය සහතික කර ඇත. ප්‍රමිතියට අනුව සකස් කරන ලද වී අස්වැන්න වී අලෙවි මණ්ඩලයේ ගබඩා වෙත ලබා දීම සඳහා ගොවීන්ට අවශ්‍ය සියලු පහසුකම් මේ වන විට සලසා දී ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම ක්‍රියාවලිය හරහා අතරමැදියන්ගේ ග්‍රහණයෙන් තොරව ගොවීන්ට සාධාරණ මිලක් ලබා දීමත්, වෙළෙඳපොළේ සහල් මිල ස්ථාවරව පවත්වා ගැනීමත් රජයේ අපේක්ෂාවයි.














