මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හමුවේ අනාගතයේ ඇතිවිය හැකි ඕනෑම අර්බුදකාරී තත්ත්වයකට මුහුණදීමට රජය සූදානම් වුවද, ජනතාවට ලබාදී ඇති සහන හෝ රජයේ සේවකයන්ගේ වැටුප් හා දීමනා කිසිසේත් කප්පාදු නොකරන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි. ඊයේ (10) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
අස්වැසුම, වගා සහනාධාර, ධීවර සහන මෙන්ම දිට්වා (DITVA) සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූවන්ට ලබාදෙන මූල්‍ය ආධාර කිසිදු අඩු කිරීමකින් තොරව ලබාදෙන බව මෙහිදී සහතික කෙරිණි. සෞඛ්‍ය සහ අධ්‍යාපන අංශ සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන අඩු නොකරන අතර, ආර්ථිකයේ කිසිදු ක්ෂේත්‍රයක් වසා දැමීමකින් තොරව විවෘතව තබා ගනිමින් ඉදිරි අර්බුදවලට මුහුණ දෙන බව හෙතෙම පැවසීය. රජයේ සේවකයන්ගේ මූලික වැටුප හෝ දීමනා අඩු කිරීමට රජයේ කිසිදු සූදානමක් නොමැති බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් සම්බන්ධයෙන් විවිධ රටවල් ගන්නා ක්‍රියාමාර්ග මෙරට සහන කප්පාදුවට බලපාන්නේ නැති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. පවතින තත්ත්වය හමුවේ ජනතාව මත අධික බරක් පැටවීම වැළැක්වීම සඳහා අවම මට්ටමක මිල සංශෝධන සිදු කළ බවත්, ඉදිරියේදී ද ජනතාවට අවම පීඩනයක් දැනෙන පරිදි කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.














