ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව සහ ඵලදායිතාව ඉහළ නැංවීම ඉලක්ක කරගනිමින් රාජ්‍ය නිලධාරීන් ඩිජිටල් තාක්ෂණයෙන් සන්නද්ධ කිරීම සඳහා කෘතිම බුද්ධිය (AI) පිළිබඳ විශේෂ සතිඅන්ත කෙටි පාඨමාලාවක් හඳුන්වා දීමට රජය තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් ඊයේ (16) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වා ඇති අතර එහිදී රාජ්‍ය පරිපාලනයට නූතන තාක්ෂණික මෙවලම් බද්ධ කිරීමේ වැදගත්කම අවධාරණය කෙරිණි. ඩිජිටල් ආර්ථික පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම හමුවට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
කැනබරා විශ්වවිද්‍යාලය (University of Canberra), ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය (KDU) සහ AION Campus යන ආයතන ශ්‍රී ලංකා රජය සමඟ එක්ව මෙම පුහුණු වැඩසටහන ක්‍රියාවට නංවනු ලබයි. සාමාන්‍යයෙන් බුද්ධිමය සේවාවන්හි නිරත වන්නෙකු තොරතුරු සෙවීම සඳහා පමණක් සතියකට පැය තුනකට වඩා වැය කරන බවත්, එය වසරකට ගණනය කළ විට සම්පූර්ණ මාසයක ඵලදායිතාව අහිමි වීමක් බවත් පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, AI තාක්ෂණය භාවිතය හරහා එම කාලය ඉතිරි කර ගනිමින් වඩාත් ගුණාත්මක ප්‍රතිපත්ති සැලසුම් කිරීමට අවස්ථාව ලැබෙන බව සඳහන් කළේය.
ජනාධිපති ලේකම් කාර්යාලයේ පූර්ණ සම්බන්ධීකරණය යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය මගින් තීරණ ගැනීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම සහ රාජ්‍ය සේවකයින්ගේ වෘත්තීය නිපුණතාව ඉහළ නැංවීම අපේක්ෂා කෙරේ. මෙම අවස්ථාවට ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා සහ අමාත්‍යාංශ ලේකම් වරුණ ශ්‍රී ධනපාල මහතා ඇතුළු දෙස් විදෙස් විශ්වවිද්‍යාල නියෝජිතයින් පිරිසක් එක්ව සිටියහ. මෙය මෙරට රාජ්‍ය සේවය නවීකරණය කිරීමේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැලකේ.














