නියමිත ප්‍රමිතියෙන් යුත් බඩඉරිඟු කිලෝවක් සඳහා රුපියල් 135ක අවම සහතික මිලක් ලබා දීමට රජය තීරණය කර තිබේ. කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරන්නේ අතරමැදියන්ගේ ග්‍රහණයෙන් ගොවියා මුදාගැනීම සඳහා වගා බිම් වෙතම ගොස් අස්වනු මිලදී ගැනීමට කටයුතු කරන බවයි.
බඩඉරිඟු කිලෝවක නිෂ්පාදන වියදම රුපියල් 117ක් පමණ වන බව ගණනය කර ඇති අතර, මීට පෙර ගොවීන්ට සිය අස්වනු රුපියල් 80 – 90 වැනි අඩු මිලකට අලෙවි කිරීමට සිදුවීමෙන් ඔවුන් දැඩි අසීරුතාවයට පත්ව සිටියහ. පවතින වර්ෂා සහිත කාලගුණය හේතුවෙන් අස්වනු ප්‍රමාණය ද යම් මට්ටමකින් අඩු වී ඇති පසුබිමක, මෙම නව මිල සංශෝධනය ගොවීන්ට විශාල සහනයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
අස්වනු මිලදී ගැනීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් අනුරාධපුර, මොනරාගල, අම්පාර සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල විශේෂ මිලදී ගැනීමේ මධ්‍යස්ථාන ස්ථාපිත කර ඇත. සිය අස්වනු 15%කට වඩා අඩුවෙන් වියළා ගුණාත්මකභාවය ආරක්ෂා කර ගනිමින් මෙම මධ්‍යස්ථාන වෙත හෝ ක්ෂේත්‍රයේදී රජයේ නිලධාරීන් වෙත ලබා දෙන ලෙස අමාත්‍යාංශය ගොවීන්ගෙන් ඉල්ලා සිටියි.














