පැවිදි දිවියට ඇතුළත් වන ස්වාමීන් වහන්සේලාගේ දෙමව්පියන් වෙනුවෙන් රජය මැදිහත්ව අංගසම්පූර්ණ නිවාස ලබාදීමේ විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට පසුගිය කැබිනට් මණ්ඩලයේදී තීරණය කර තිබේ. “යතිවර මාපිය නිවහන” යන තේමාව යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙල පිළිබඳව කරුණු අනාවරණය කළේ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා විසිනි. ගලේවෙල, මීවල, පතහා පබ්බතාරාම පුරාවිද්‍යා සංරක්ෂණ ස්ථානය ජන අයිතියට පැවරීමේ උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙම ව්‍යාපෘතිය යටතේ දිවයින පුරා නිවාස 1000 ක් ඉදිකිරීමට සැලසුම් කර ඇති අතර එහි මූලික කටයුතු ලබන මාසයේ සිට ආරම්භ කිරීමට නියමිතය. සසුනට පුතුන් පූජා කළ, ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවි ගෙවන මව්පියන්ගේ සුභසාධනය වෙනුවෙන් රජය ගත් සුවිශේෂී තීරණයක් ලෙස මෙය සැලකේ. ශාසනික මෙහෙවරක නිරතවන ස්වාමීන් වහන්සේලාට තම මව්පියන්ගේ රැකවරණය පිළිබඳව ඇතිවන ගැටලුවලට විසඳුමක් ලෙස මෙම නිවාස ව්‍යාපෘතිය රජය විසින් හඳුන්වා දී ඇත.














