ශ්‍රී ලංකාවේ පවතින විවිධ ක්ෂේත්‍රවලට අදාළ නීති රීති සහ ආඥා පනත් පිළිබඳ පුළුල් සමාලෝචනයක් සිදු කර, ඩිජිටල් යුගයට ගැළපෙන සේ ඒවා සංශෝධනය කිරීමට රජය තීරණය කර ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා පවසයි. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සංවිධානය කළ නීති ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමේ සමුළුව අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ, බ්‍රිතාන්‍ය යුගයේ සිට පැවත එන පැරණි නීති වත්මන් අවශ්‍යතාවලට අනුව සරල හා කාර්යක්ෂම ලෙස වෙනස් කිරීම මෙහි අරමුණ බවයි.
මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සඳහා ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය දැනටමත් ලැබී ඇති අතර, විවිධ අමාත්‍යාංශ සහ ක්ෂේත්‍ර 13ක් නියෝජනය වන පරිදි අනුකමිටු පත් කර ඇත. ජනතාවට වඩාත් සමීප, විනිවිදභාවයෙන් යුත් සහ විශ්වසනීය රාජ්‍ය සේවයක් ඇති කිරීම වෙනුවෙන් මෙම නීතිමය නවෝත්පාදනය අත්‍යවශ්‍ය මොහොතක සිදුවන්නක් බව මහාචාර්යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය. කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේ පැවැති මෙම අවස්ථාවට නීති ක්ෂේත්‍රයේ සහ රාජ්‍ය අංශයේ ඉහළ පෙළේ නිලධාරීන් රැසක් සහභාගී වූහ.














