ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා නීති විද්‍යාලය සංවිධානය කළ “ග්‍රේස් ඇන්ඩ් ග්‍රීට් 2026″ (Grace and Greet 2026) විශේෂ සැමරුම් උළෙල පසුගියදා එම විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. කාන්තා සමානාත්මතාවය සහ නීති ක්ෂේත්‍රය තුළ කාන්තා දායකත්වය බලගැන්වීම මෙහි ප්‍රධාන තේමාව විය.
මෙම සැමරුමට සමගාමීව ක්ෂේත්‍ර කිහිපයක ප්‍රවීණයන්ගේ සහභාගීත්වයෙන් විශේෂ සංවාද මණ්ඩපයක් ද පැවැත්වුණු අතර, ඒ සඳහා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, හිටපු නගරාධිපතිනි රෝසි සේනානායක සහ හිටපු නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිල්රුක්ෂී ඩයස් වික්‍රමසිංහ යන මහත්මීන් එක්ව සිටියහ. නීතිය සහ ප්‍රතිපත්ති සම්පාදනය හරහා කාන්තාවන් සවිබල ගැන්වීමේ වැදගත්කම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
නීති ශිෂ්‍යාවන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු මෙම වැඩසටහන හරහා අනාගත නීති වෘත්තිකයන් ලෙස කාන්තාවන් මුහුණ දෙන අභියෝග සහ ඒවා ජය ගන්නා ආකාරය පිළිබඳව මනා අවබෝධයක් ලබාදීමට කටයුතු කර තිබුණි.













