වීඩියෝ ක්‍රීඩා ලොව වඩාත්ම අපේක්ෂිත ක්‍රීඩාව වන Grand Theft Auto VI (GTA 6) හි මිල ගණන් පිළිබඳ තොරතුරු අන්තර්ජාලයට කාන්දු වී තිබේ. ඒ අනුව, Xbox කොන්සෝල (Console) සංස්කරණය සඳහා ඇමරිකානු ඩොලර් 99.99ක (පවුම් 89.99) මිලක් සටහන් වී ඇති අතර, එය සාමාන්‍ය වීඩියෝ ක්‍රීඩාවක මිලට වඩා වැඩි අගයකි. කෙසේ වෙතත්, එහි පරිගණක (PC) සංස්කරණය සඳහා පවුම් 60.99ක තරමක් අඩු මිලක් සටහන් වී ඇති බව වාර්තා වේ.
රොක්ස්ටාර් (Rockstar) සමාගමේ මව් සමාගම වන Take-Two Interactive විසින් GTA 6 නිකුත් කරන නිල දිනය ලෙස 2026 නොවැම්බර් 19 වනදා තහවුරු කර ඇත. මෙහි ප්‍රචාරණ කටයුතු එළඹෙන ගිම්හාන සෘතුවේදී ආරම්භ කිරීමට නියමිතය. නූතන ෆ්ලොරිඩා ප්‍රාන්තය පසුබිම් කරගත් මෙම ක්‍රීඩාව හරහා පළමු වරට ලුසියා (Lucia) නැමැති කාන්තා ප්‍රධාන චරිතයක් ද හඳුන්වා දීමට කටයුතු කර තිබේ.
මෙම ක්‍රීඩාව ඉතා උසස් තත්ත්වයේ ග්‍රැෆික්ස් (Ray tracing), වඩාත් බුද්ධිමත් පරිගණක චරිත (NPCs) සහ යථාර්ථවාදී භෞතික විද්‍යාත්මක ලක්ෂණවලින් සමන්විත වනු ඇතැයි අපේක්ෂා කෙරේ. කෙසේ වෙතත්, වීඩියෝ ක්‍රීඩා ලෝලීන් පවසන්නේ ක්‍රීඩාවේ ගුණාත්මකභාවය කුමක් වුවත්, එහි මිල සාමාන්‍ය මට්ටමක (ඩොලර් 70ක් පමණ) පැවතීම සාධාරණ බවයි.














