වසර 109කට පෙර බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය විසින් ඉන්දීය ව්‍යාපාරිකයෙකුගෙන් ලබාගත් ණය මුදලක් පොලියත් සමඟ යළි අයකර ගැනීමට ඔහුගේ මුණුබුරා සූදානම් වන පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 1917 වසරේදී එවකට ඉන්දියාවේ ප්‍රකට ව්‍යාපාරිකයෙකු වූ සෙත් ජුම්මාලාල් රුතියියාගෙන් බ්‍රිතාන්‍ය රජය රුපියල් 35,000ක මුදලක් ලබාගෙන ඇත්තේ රාජ්‍ය පරිපාලන කටයුතු සහ යුද අවශ්‍යතා වෙනුවෙන් “යුද ණයක්” (War Loan) ලෙසිනි.
මෙම ණය මුදල මෙතෙක් පියවා නොමැති බව පවසන සෙත් ජුම්මාලාල්ගේ මුණුබුරා වන විවේක් රූතියියා, මේ සඳහා වන ලේඛනමය සාක්ෂි තම පියාගේ මරණයෙන් පසු පැරණි වාර්තා අතර තිබී හමු වූ බව සඳහන් කරයි. 1917 වසරේ රුපියල් 35,000ක වටිනාකම වර්තමාන මුදල් අනුපාතයන්ට අනුව ගණනය කළහොත් එය රුපියල් කෝටි ගණනක අතිවිශාල මුදලක් වනු ඇත. මේ අනුව අදාළ “නොගෙවූ ස්වෛරී ණය” අයකර ගැනීම සඳහා බ්‍රිතාන්‍ය රජයට නීතිමය දැන්වීමක් යැවීමට විවේක් රූතියියා මේ වන විට කටයුතු කරමින් සිටියි.














