වයස අවුරුදු 15ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය (Social Media) භාවිතය තහනම් කිරීමට ග්‍රීසිය තීරණය කර ඇති බව එරට අග්‍රාමාත්‍ය කිරියාකොස් මිට්සෝටාකිස් (Kyriakos Mitsotakis) අද (08) නිවේදනය කළේය. 2027 ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි පැනවෙන මෙම තහනමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ සමාජ මාධ්‍ය භාවිතය නිසා දරුවන් තුළ වර්ධනය වන මානසික ආතතිය, නින්ද නොයාමේ ගැටලු සහ මෙම වේදිකාවල පවතින ඇබ්බැහි කරවන ස්වභාවයයි.
තරුණ පරපුර වෙත වීඩියෝ පණිවිඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා පවසා සිටියේ, දරුවන් දීර්ඝ වේලාවක් තිර (Screens) ඉදිරියේ ගත කිරීම නිසා ඔවුන්ගේ මනසට අවශ්‍ය විවේකය නොලැබෙන බවත්, නිරන්තරයෙන් අන් අය සමඟ තමන්ව සංසන්දනය කිරීම සහ අන්තර්ජාලය හරහා ලැබෙන විවිධ ප්‍රතිචාර නිසා ඔවුන් දැඩි පීඩනයකට ලක්වන බවත්ය. පසුගිය පෙබරවාරි මාසයේදී ග්‍රීසියේ සිදුකළ මහජන මත විමසුමකදී ද එරට ජනතාවගෙන් 80%ක් මෙවැනි තහනමකට සිය කැමැත්ත පළ කර තිබුණි.
මෙවැනි පියවරක් ගන්නා ලොව පළමු රටවල් කිහිපය අතරට ග්‍රීසිය ද එක්වන බවත්, ඉදිරියේදී යුරෝපා සංගමය ද මෙම මාවතට යොමු කරවීම සිය අරමුණ බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. පසුගිය වසරේදී ඔස්ට්‍රේලියාව විසින් වයස අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමෙන් පසුව, මේ වන විට ස්ලොවේනියාව, බ්‍රිතාන්‍යය, ඔස්ට්‍රියාව සහ ස්පාඤ්ඤය ද මෙවැනි නීති සම්පාදනය කිරීමට පියවර ගනිමින් සිටියි.














