යුරෝපා සංගමය (EU) විසින් ලබාදෙන කෘෂිකාර්මික සහනාධාර අවභාවිත කිරීමේ මහා පරිමාණ වංචාවක් සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා හමුවේ ග්‍රීක රජයේ කැබිනට් අමාත්‍යවරුන් තිදෙනෙකු අද (03) සිය ධුරවලින් ඉල්ලා අස්වී ඇති බව එරට රජයේ රූපවාහිනී සේවය (ERT) වාර්තා කළේය. ඒ අනුව එරට කෘෂිකර්ම අමාත්‍යවරයා, සිවිල් ආරක්ෂක අමාත්‍යවරයා සහ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා මෙලෙස ඉල්ලා අස්වී තිබේ.
යුරෝපීය රජයේ අභිචෝදක කාර්යාලය (EPPO) විසින් සිදුකරන ලද විමර්ශනයකට අනුව, ග්‍රීසියේ පාලක පක්ෂයේ දේශපාලනඥයන් පිරිසක් වසරකට ආසන්න කාලයක් තිස්සේ මෙම සහනාධාර මුදල් වංචනික ලෙස ලබාගෙන ඇති බවට හෙළි වී ඇත. තමන්ට අයිති නැති ඉඩම් සඳහා සහනාධාර ලබා ගැනීම සහ ගොවිපළවල සිටින සතුන් සංඛ්‍යාව වැඩිකර පෙන්වීම හරහා මෙම මුදල් ලබාගෙන ඇති බවට චෝදනා එල්ල වේ.
මෙම වංචනික සහනාධාරවලින් වැඩි ප්‍රමාණයක් ග්‍රීසියේ ක්‍රීට් (Crete) දූපතේ ව්‍යාපෘති සඳහා වෙන් කර ඇති අතර, එය වත්මන් අග්‍රාමාත්‍ය කිරියාකොස් මිට්සෝටාකිස්ගේ (Kyriakos Mitsotakis) පවුල දේශපාලනිකව බලවත් ප්‍රදේශයක් වීම විශේෂත්වයකි. මෙම ඉල්ලා අස්වීම් සමඟ ග්‍රීක රජය දැඩි දේශපාලන අර්බුදයකට මුහුණ දී සිටින අතර, ඉදිරි පැය කිහිපය තුළ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුකිරීමට නියමිත බව ද වාර්තා වේ.














