සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ප්‍රමුඛ ගල්ෆ් කලාපීය රටවල්, ඉරානයට එරෙහිව ඇරඹූ යුද්ධය තවදුරටත් ඉදිරියට ගෙන යන ලෙස ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් පෞද්ගලිකව ඉල්ලා ඇති බව විදේශ වාර්තා සඳහන් කරයි. මාසයක් පුරා ඇමෙරිකානු නායකත්වයෙන් එල්ල වූ බෝම්බ ප්‍රහාර මාලාවෙන් ඉරානය තවමත් ප්‍රමාණවත් තරම් දුර්වල වී නොමැති බව එම රටවල මතය වී තිබේ.
යුද්ධය ආරම්භයේදී තමන්ට පූර්ව දැනුම්දීමක් නොකිරීම පිළිබඳව මෙම රටවල් මීට පෙර අමනාපයෙන් පසුවුවද, දැන් ඔවුන් පෙන්වා දෙන්නේ ඉරානයේ පාලන තන්ත්‍රය සහ හමුදා ශක්තිය සදහටම අඩපණ කිරීමට ලැබී ඇති මෙම ඓතිහාසික අවස්ථාව මගනොහැරිය යුතු බවයි. ඉරාන නායකත්වයේ පැහැදිලි වෙනසක් හෝ ඔවුන්ගේ ක්‍රියාකලාපයේ දැඩි වෙනසක් සිදුවන තෙක් හමුදා මෙහෙයුම් නතර නොකරන ලෙස සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කුවේටය සහ බහරේනය යන රටවල් වොෂින්ටනයට දන්වා ඇත.
කෙසේ වෙතත්, ජනාධිපති ට්‍රම්ප් මේ වන විට දෙගිඩියාවෙන් පසුවන බව වාර්තා වේ. එක් පසෙකින් ඉරානය සාම සාකච්ඡා සඳහා සූදානම් බව ඔහු පවසන අතර, අනෙක් පසින් එකඟතාවයකට නොපැමිණෙන්නේ නම් යුද්ධය තවදුරටත් දරුණු කරන බවට ඔහු අනතුරු අඟවයි. බටහිර ආසියාවේ පුද්ගලයින් 3,000කට අධික පිරිසකට ජීවිත අහිමි කරමින් ලෝක ආර්ථිකයම සොලවා ඇති මෙම යුද්ධය සඳහා ඇමෙරිකානු ජනතාවගේ සහය ලබාගැනීමට ද ට්‍රම්ප් දැඩි උත්සාහයක නිරත වෙමින් සිටී.














