ගල්ෆ් කලාපයේ රටවල් ඉලක්ක කරගනිමින් ඉරානය එල්ල කරන මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාව දැඩි ලෙස හෙළා දකිමින් අරාබි සහ ඉස්ලාමීය රටවල විදේශ අමාත්‍යවරුන් අද (මාර්තු 19) රියාද් නුවරදී ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කළහ. සිවිල් යටිතල පහසුකම් ඉලක්ක කරගනිමින් එල්ල කරන මෙම ප්‍රහාර කිසිදු අයුරකින් සාධාරණීකරණය කළ නොහැකි බවත්, එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 51 වන වගන්තියට අනුව ඕනෑම රටකට තම ස්වෛරීභාවය ආරක්ෂා කරගැනීම සඳහා ස්වයං ආරක්ෂක පියවර ගැනීමේ අයිතිය ඇති බවත් ඔවුහු අවධාරණය කළහ.
සවුදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර්, කුවේට්, බහරේන්, ඊජිප්තුව, ජෝර්දානය, තුර්කිය සහ පකිස්ථානය ඇතුළු රටවල් රැසක නියෝජිතයින් සහභාගී වූ මෙම හමුව පැවැත්වෙන අතරතුර පවා රියාද් අගනුවර ඉලක්ක කරගනිමින් ඉරානය බැලිස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කර තිබේ. සවුදි විදේශ අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් කුමරු ප්‍රකාශ කළේ සවුදි අරාබිය මෙතෙක් පවත්වාගෙන ආ ඉවසීම අසීමිත නොවන බවත්, අවශ්‍ය වුවහොත් ඕනෑම මොහොතක හමුදාමය ක්‍රියාමාර්ග ගැනීමට තමන් පසුබට නොවන බවත්ය. 2023 වසරේදී දෙරට අතර ඇති කරගත් සබඳතා සහ විශ්වාසය ඉරානයේ මෙම ක්‍රියාකලාපය නිසා සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම ප්‍රහාර මගින් ගල්ෆ් කලාපයේ තෙල් පිරිපහදු මධ්‍යස්ථාන, ගෑස් පහසුකම්, ගුවන් තොටුපළවල් සහ ජලය පිරිපහදු කරන මධ්‍යස්ථාන (Desalination plants) ඉලක්ක කර ඇති අතර, එය ලෝක බලශක්ති සැපයුමට සහ හෝමුස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනයට දැඩි තර්ජනයක් වී තිබේ. ඇමරිකානු ඉලක්ක වෙත පමණක් ප්‍රහාර එල්ල කරන බවට ඉරානය කරන ප්‍රකාශය දුර්වල තර්කයක් බව පවසන සවුදි අරාබිය, ඉරානය රාජ්‍ය තාන්ත්‍රික විසඳුම් කෙරෙහි විශ්වාසය නොතබන බවට චෝදනා කරයි.
















