ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ ග්වලියර් (Gwalior) දිස්ත්‍රික්කයේ පැවැති මංගල උත්සවයකදී මත්පැන් ලබා නොදීම හේතුවෙන් ඇති වූ ආරවුලක් දුරදිග ගොස්, අසල්වැසියන් පිරිසක් විසින් මනාලයා, මනාලිය සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ට දරුණු ලෙස පහර දී තිබේ. පසුගිය අඟහරුවාදා රාත්‍රියේ අරොන් (Aron) පොලිස් බලප්‍රදේශයට අයත් පටායි (Patai) ගම්මානයේදී මෙම සිදුවීම වාර්තා වී ඇත.
මහේෂ් ජාතව් (Mahesh Jatav) නමැති තරුණයාගේ විවාහ මංගල්‍යය පැවැත්වෙන අතරතුර එහි පැමිණි අසල්වැසියන් පිරිසක් තමන්ට මත්පැන් ලබා දෙන ලෙස හෝ ඒ සඳහා මුදල් ලබා දෙන ලෙස ඉල්ලා තිබේ. මනාලයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ උරණ වූ සැකකරුවන් මනාලයාට සහ ඔහුගේ පවුලේ අයට පහර දී ඇති අතර, එහිදී මනාලයාගේ මව සහ පියා ද තුවාල ලබා ඇත. මනාලියට ද මෙහිදී පහර දී ඇති අතර, පහරදීම අතරතුර නිවසේ තිබූ මුදල් සහ භාණ්ඩ කිහිපයක් ද සොරාගෙන ඇති බවට පොලිසියට පැමිණිලි ලැබී තිබේ.
නගර සහකාර පොලිස් අධිකාරී මනීෂ් යාදව් (Manish Yadav) මහතා ප්‍රකාශ කළේ මංගල චාරිත්‍ර ඉටු කරමින් සිටියදී මෙම පිරිස පැමිණ කලහකාරී ලෙස හැසිරී ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය මේ වන විට පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, පහරදීමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පියවර ගනිමින් සිටියි. මංගල්‍යයක් වැනි සතුටුදායක අවස්ථාවක මෙවැනි ප්‍රචණ්ඩකාරී සිදුවීමක් වාර්තා වීම ප්‍රදේශවාසීන්ගේ දැඩි පිළිකුලට ලක්ව තිබේ.














