හයිටි රාජ්‍යයේ කල්ලි මර්දනය සඳහා යොදවා ඇති එක්සත් ජාතීන්ගේ අනුග්‍රහය ලත් ආරක්ෂක බලකායේ සාමාජිකයන්ට එල්ල වී ඇති ලිංගික අපයෝජන චෝදනා සම්බන්ධයෙන් නිකුත් වූ එක්සත් ජාතීන්ගේ වාර්තාව කෙන්යාව විසින් ප්‍රතික්ෂේප කර තිබේ. කෙන්යානු පොලිස් නිලධාරීන්ගෙන් බහුතරයකින් සමන්විත මෙම බලකායට එරෙහිව පසුගිය වසරේ එල්ල වූ චෝදනා හතරක් සනාථ වී ඇති බව එම වාර්තාවේ සඳහන් විය.
කෙසේ වෙතත්, කෙන්යානු විදේශ අමාත්‍ය මුසාලියා මුඩවාඩි (Musalia Mudavadi) විසින් එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටෙරස් වෙත ලිපියක් යොමු කරමින් පවසා ඇත්තේ, කෙන්යානු පරීක්ෂණ මණ්ඩලයක් මඟින් සිදු කළ විමර්ශනවලදී එම චෝදනා සනාථ වී නොමැති බවයි. මෙම විමර්ශන අපක්ෂපාතීව සිදු කළ බවත් එහි වාර්තා අදාළ අංශ වෙත යොමු කර ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
හයිටි අගනුවර පාලනය කරන සන්නද්ධ කල්ලි මර්දනය කිරීම සඳහා 2024 ජූනි මාසයේ සිට ක්‍රියාත්මක වන මෙම ආරක්ෂක බලකායට සාමාජිකයන් 1,000ක් පමණ ඇතුළත් වන අතර, එයින් වැඩිම පිරිසක් සපයනු ලබන්නේ කෙන්යාව විසිනි. මෙම විමර්ශන වාර්තාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙතෙක් නිල ප්‍රතිචාරයක් දක්වා නොමැත.















