දිට්වා සුළිකුණාටුවෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ හලාවත ප්‍රදේශයේ ධීවර ජනතාව නගා සිටුවීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කරන විශේෂ සහන වැඩපිළිවෙළ යටතේ නව යාත්‍රා සහ ආම්පන්න බෙදාදීම අද (23) සිදු කෙරිණි. ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයේදී කුණාටුවෙන් පූර්ණ හානි වූ යාත්‍රා 11ක් වෙනුවෙන් නව යාත්‍රා පිරිනැමීම සංකේතාත්මකව ආරම්භ කළ අතර අලුත්වැඩියා කරන ලද යාත්‍රා 14ක් සහ නව දැල් ආම්පන්න ධීවරයින් වෙත ලබා දීමට කටයුතු කර ඇත.
මෙම සහන වැඩපිළිවෙළ සඳහා රජයේ භාණ්ඩාගාරය මගින් රුපියල් මිලියන 865ක ප්‍රතිපාදන වෙන් කර ඇති බව ධීවර අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා මෙහිදී තහවුරු කළේය. මීට අමතරව පීඩාවට පත් ඉස්සන් වගාකරුවන් වෙනුවෙන් විශේෂ මූල්‍ය සහනයක් ලෙස 3% ක අවම පොලියක් යටතේ රුපියල් මිලියන 25ක් දක්වා ණය පහසුකම් ලබා දීමට ද පියවර ගෙන තිබේ. දිට්වා සුළිකුණාටුවෙන් විනාශ වූ ධීවර ජීවනෝපායන් යළි ගොඩනැගීම රජයේ ප්රමුඛ කාර්යයක් බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.














