ඉතිහාසය පුරා සතුරන් ලෙස සැලකූ ඉන්දියාව සහ පාකිස්ථානය ආදරය හමුවේ මිතුරන් වූ සුවිශේෂී පුවතක් හම්බන්තොටින් වාර්තා වේ. පාකිස්ථාන ජාතික ව්‍යවසායක මුෂ්තබා ෂෙයිකානි සහ ඉන්දියාවේ මුම්බායිහි ප්‍රමුඛ පෙළේ සෞන්දර්ය වෛද්‍ය විශේෂඥවරියක වන හෆ්ෂා මර්චන්ට් යන දෙපළගේ රාජකීය විවාහ මංගල්‍යය පසුගියදා හම්බන්තොට ෂ්‍රැන්ග්‍රිලා ගොල්ෆ් රිසෝර්ට් ඇන්ඩ් ස්පාහිදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
දින 4ක් පුරා පැවැති මෙම උත්සවය සඳහා විදේශීය අමුත්තන් 800කට අධික පිරිසක් සහභාගී වූ අතර, එය මෙතෙක් මෙරට පැවැත්වූ විශාලතම ජාත්‍යන්තර විවාහ මංගල්‍යයක් ලෙස ඉතිහාසයට එක් වේ. මනාලයාගේ පාර්ශ්වය ගෝලීය පරිවාරක කර්මාන්තයේ ප්‍රමුඛයන් වන අතර මනාලියගේ පාර්ශ්වය මුම්බායිහි රූපලාවන්‍ය වෛද්‍ය ක්ෂේත්‍රයේ පුරෝගාමීන් වේ. මෙම මංගල්‍යය සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය, එක්සත් රාජධානිය ඇතුළු රටවල් රැසක ආරාධිතයන් සහ ජාත්‍යන්තර කලාකරුවන් රැසක් එක්ව සිටියහ.
ශ්‍රී ලංකාව ලෝකයේ ප්‍රමුඛතම මංගල ගමනාන්තයක් (Wedding Destination) ලෙස ප්‍රවර්ධනය කිරීමට මෙම අවස්ථාව මහඟු පිටුවහලක් වූ අතර, අමාත්‍ය විජිත හේරත් මහතා ද මෙහි අවසන් දින උත්සවයට ප්‍රධාන ආරාධිතයෙකු ලෙස එක් විය. මෙමඟින් මෙරට සංචාරක ආර්ථිකයට ද සුවිශේෂී දායකත්වයක් හිමි විය.














