හම්බන්තොට, කටුවැව සල්මල්යාය ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ ඉන්ධන ලීටර් 500කට ආසන්න තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ. යුද හමුදා බුද්ධි අංශයට ලැබුණු විශේෂ තොරතුරකට අනුව සිදුකළ මෙම වැටලීමේදී ඩීසල් ලීටර් 480කට වැඩි ප්‍රමාණයක් සහ පෙට්‍රල් ලීටර් 20කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන ඇත.
මැදපෙරදිග කලාපයේ පවතින අර්බුදකාරී තත්ත්වය සහ හෝමුස් සමුද්‍ර සන්ධියේ ගැටලු හමුවේ ගෝලීය තෙල් මිල ඉහළ යමින් පවතින පසුබිමක, මෙලෙස අනිසි ලෙස ඉන්ධන රැස්කර තබාගන්නා පිරිස් සොයා මෙහෙයුම් දැඩි කර තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු සහ ඉන්ධන තොගය හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර හම්බන්තොට පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන මෙහෙයවයි.














