නැගෙනහිර-බටහිර ප්‍රධාන මුහුදු මාර්ගයේ උපායමාර්ගික පිහිටීම තවදුරටත් ශක්තිමත් කරමින් හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP) සිය දෙවන අදියරේ පළමු පියවර යටතේ හෙක්ටයාර හයකින් යුත් නව රෝ-රෝ (Roll-on/Roll-off) අංගනයක් ඊයේ (04) විවෘත කරන ලදී. මෙම නව ව්‍යාපෘතිය මගින් වරායේ වාහන ගාල් කිරීමේ ධාරිතාව ඒකක 4,500 දක්වා ඉහළ නංවා ඇති අතර, එමගින් පවතින තදබදය අවම කරමින් මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ නෞකා හැසිරවීමේ වේගය වැඩි කිරීමට අපේක්ෂිතය. මෙය හම්බන්තොට වරාය කලාපීය මෝටර් රථ සැපයුම් ජාලයේ ප්‍රධාන මධ්‍යස්ථානයක් ලෙස ස්ථාපිත කිරීමට ගත් තීරණාත්මක පියවරකි.
පසුගිය 2025 වසරේදී හම්බන්තොට වරාය වාහන 726,153ක් හසුරුවමින් ආසියාව, මැදපෙරදිග සහ අප්‍රිකාව යන කලාපයන්හි ප්‍රතිඅපනයන කටයුතුවල ඉහළ වර්ධනයක් පෙන්නුම් කළේය. මෙම නව ව්‍යාප්තියත් සමඟ වාර්ෂිකව වාහන මිලියනයක් හැසිරවීමේ ඉලක්කය කරා ගමන් කිරීමට වරාය බලධාරීන් සැලසුම් කර ඇත. හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) ප්‍රධාන විධායක නිලධාරී විල්සන් ක්වූ (Wilson Qu) මහතා සඳහන් කළේ, මෙම ධාරිතාව වැඩිකිරීම හරහා ලෝක මට්ටමේ රෝ-රෝ මෙහෙයුම්කරුවන්ට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබා දීමට හැකි වන අතර එය වරායේ වටිනාකම තවදුරටත් ඉහළ නංවන බවයි.
ප්‍රධාන නැගෙනහිර-බටහිර මුහුදු මාර්ගයේ සිට නාවික සැතපුම් 10ක් වැනි කෙටි දුරකින් පිහිටා තිබීම හම්බන්තොට වරායට පවතින සුවිශේෂී වාසියකි. මෙමගින් අනෙකුත් කලාපීය වරායන් වෙත ගමන් කිරීමේදී වැය වන කාලය සහ පිරිවැය ඉතිරි කර ගැනීමට නෞකාවලට අවස්ථාව ලැබේ. ලොව විශාලතම වාහන ප්‍රවාහන නෞකා (PCTCs) හැසිරවීමේ හැකියාව සහ නවීන ඩිජිටල් කළමනාකරණ පද්ධති භාවිතය නිසා ජාත්‍යන්තර විශ්වාසය දිනා ගැනීමට HIP සමත් වී ඇත. මෙම නව අංගනය විවෘත කළ දිනයේම ප්‍රකට NYK නාවික සේවාව විසින් හම්බන්තොට වරාය වෙත සිය රෝ-රෝ සේවාවන් තවදුරටත් පුළුල් කරන බව නිවේදනය කිරීම ද විශේෂත්වයකි.
දෙවන අදියරේ දෙවන පියවර යටතේ සිදු කෙරෙන ඉදිකිරීම් මේ වන විටත් ආරම්භ කර ඇති අතර, එය මෙම වසරේ දෙවන කාර්තුව වන විට නිම කිරීමට නියමිතය. මෙමගින් හම්බන්තොට වරාය ඉන්දියන් සාගර කලාපයේ වඩාත්ම තරඟකාරී සහ ශක්තිමත් මෝටර් රථ සැපයුම් කේන්ද්‍රස්ථානය බවට පත්වනු ඇත. ගෝලීය මෝටර් රථ සැපයුම් දාමයන් උපායමාර්ගිකව පිහිටි වරායන් මත වැඩි වැඩියෙන් යැපෙන පසුබිමක, හම්බන්තොට වරායේ මෙම ආයෝජනය මෙරට ආර්ථිකයට ද විශාල ශක්තියක් වනු නොඅනුමානය.














