2026 යල කන්නයේ ලුණු අස්වනු නෙලීමේ කටයුතු අද (28) පෙරවරුවේ හම්බන්තොට මහලේවායේදී නිල වශයෙන් ආරම්භ කෙරුණා. හම්බන්තොට ලුණු සමාගමේ සභාපති ටී. නන්දන තිලක මහතා සඳහන් කළේ ඉදිරියේදී මෙරටට ලුණු ආනයනය කිරීමේ කිසිදු අවශ්‍යතාවක් මතු නොවන බවයි. මැදපෙරදිග පවතින යුද වාතාවරණය හේතුවෙන් ඉන්ධන ඇතුළු අනෙකුත් ද්‍රව්‍යවල මිල ඉහළ ගියද, ලුණු මිල මෙතෙක් ඉහළ දමා නොමැති බව ඔහු අවධාරණය කළා.
පලටුපාන, බූන්දල සහ මහලේවාය යන ලේවායන් තුනෙන් මෙවර ලුණු මෙට්‍රික් ටොන් 90,000කට ආසන්න ප්‍රමාණයක් ලබාගත හැකි වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබෙනවා. දැනට පවතින වියළි කාලගුණික තත්ත්වය ලුණු නිෂ්පාදනයට හිතකර බැවින් ඉදිරියේදී නිෂ්පාදන ධාරිතාව තවදුරටත් ඉහළ යා හැකි බවයි සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.














