හම්බේගමුව පොලිසිය විසින් සිදු කරන ලද සුවිශේෂී මෙහෙයුමකදී උඩවලව රක්ෂිතය තුළ පවත්වාගෙන ගිය මහා පරිමාණ ගංජා ගබඩාවක් වැටලීමට සමත්ව තිබේ. ඉකුත් 07 වැනිදා සිදු කළ මෙම වැටලීමේදී රුපියල් කෝටි තුනකට අධික වටිනාකමකින් යුත් වියළි ගංජා කිලෝ 582ක ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇති අතර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත. උඩවලව රක්ෂිතයේ ගොමගලයාය මායිමට ආසන්නයේ පිහිටි හේන් වාඩියක මෙම ගංජා තොගය ඉතා රහසිගතව ගබඩා කර තිබී ඇති අතර, පොලිස් කණ්ඩායම අති දුෂ්කර ගමනකින් පසුව අදාළ ස්ථානයට ළඟා වන විටත් සැකකරුවන් විසින් ගංජා අස්වැන්න නෙළා ඒවා වියළා අලෙවි කිරීම සඳහා සූදානම් කරමින් සිටි බව වාර්තා වේ. මොවුන් කලක සිට රක්ෂිතය තුළ රහසිගතව ගංජා වගා කරමින් මෙම ජාවාරම පවත්වාගෙන ගොස් ඇති බව විමර්ශන වලදී අනාවරණය වී තිබේ.
මෙම වැටලීමේදී පොලිස් භාරයට ගනු ලැබුවේ සෙවණගල සහ ඇඹිලිපිටිය ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 50 සහ 52 යන වියෙහි පසුවන පුද්ගලයන් දෙදෙනෙකි. දීර්ඝ කාලයක සිට රක්ෂිතයේ සීමාවන් ප්‍රයෝජනයට ගනිමින් මොවුන් මෙම නීතිවිරෝධී වගා කටයුතු සහ බෙදාහැරීම් සිදුකර ඇති බව හෙළි වී ඇත. මෙම සාර්ථක මෙහෙයුම මොනරාගල නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතාගේ උපදෙස් සහ මොනරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව්. එම්. එස්. බී. වික්‍රමසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක විය. සහකාර පොලිස් අධිකාරී බී. යූ. ඊ. මානියම්ගම මහතාගේ මෙහෙයවීමෙන් හම්බේගමුව පොලිස් ස්ථානාධිපති තුෂාර සම්පත් මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකරන ලදී.














