ශ්‍රී ලංකාවේ දෘඩාංග (Hardware) ක්ෂේත්‍රයේ නවෝත්පාදකයින්ට ජාත්‍යන්තර වෙළෙඳපොළ ජය ගැනීම සඳහා අවශ්‍ය කරන දැනුම සහ මගපෙන්වීම ලබා දීමේ විශේෂ වැඩසටහනක් පසුගියදා Hatch Works පරිශ්‍රයේදී පැවැත්විණි. Xynapse Labs සහ Hatch Works ආයතන ඒකාබද්ධව සංවිධානය කළ මෙම සැසිය නම් කර තිබුණේ ‘Hardware Without Borders’ නමිනි.
දේශීය හා විදේශීය ප්‍රවීණයන් රැසකගේ සහභාගීත්වයෙන් පැවති මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වූයේ මෙරට දෘඩාංග නිර්මාණකරුවන් මුහුණ දෙන ප්‍රධානතම අභියෝග වන නිෂ්පාදන සූදානම (Manufacturing readiness), අරමුදල් සපයා ගැනීමේ උපාය මාර්ග (Funding strategy) සහ ජාත්‍යන්තර සහතිකකරණයන් (Certifications) ලබා ගැනීම වැනි බාධක ජය ගන්නේ කෙසේද යන්න පිළිබඳව සාකච්ඡා කිරීමයි.
මෙහිදී එක්සත් රාජධානියේ ‘Blue Garage’ ආයතනයේ නිර්මාතෘ මයිකල් කෝන් (Michael Korn) සිය අත්දැකීම් බෙදාගනිමින් කියා සිටියේ, දෘඩාංග ක්ෂේත්‍රයේ මුල්කාලීන සාර්ථකත්වය රඳා පවතින්නේ පිරිවැය අවම කිරීමට වඩා වේගවත් මූලාකෘති (Rapid prototyping) හරහා ඉගෙන ගන්නා වේගය මත බවයි. ඉන් අනතුරුව අදහස් දැක්වූ ‘Kickstarter’ හි සැලසුම් සහ තාක්ෂණ අංශ ප්‍රධානී හෙදර් ස්විෆ්ට් හන්ට් (Heather Swift Hunt) පෙන්වා දුන්නේ, දෘඩාංග කණ්ඩායම් විසින් පාරිභෝගික ඉල්ලුම තහවුරු කර ගැනීමට සහ මුල්කාලීන ප්‍රජාවක් ගොඩනගා ගැනීමට සමූහ අරමුදල් (Crowdfunding) උපායමාර්ගික මෙවලමක් ලෙස භාවිත කළ යුතු ආකාරයයි.
වැඩසටහන අවසානයේ පැවති මණ්ඩල සාකච්ඡාව සඳහා TRACE ආයතනයේ විධායක අධ්‍යක්ෂ හේමින්ද ජයවීර සහ Xynapse Labs හි ජ්‍යෙෂ්ඨ උපදේශක තිලක් දිසානායක යන මහත්වරුන් එක්වූ අතර, එය මෙහෙයවනු ලැබුවේ Xynapse Labs හි සම-නිර්මාතෘ දිලිත් ද සිල්වා මහතා විසිනි. බොහෝ දෘඩාංග ව්‍යාපෘති අසාර්ථක වන්නේ තාක්ෂණික හැකියාවේ අඩුවක් නිසා නොව, ඉලක්කගත වෙළෙඳපොළ සහ නිෂ්පාදන හැකියාව පිළිබඳව මුල් අවධියේදීම නිසි සැලසුම් සකස් නොකිරීම නිසා බව මෙහිදී විශේෂඥයින් අවධාරණය කළහ.
දේශීය දක්ෂතාවන් ජාත්‍යන්තර විශේෂඥතාව, සම්පත් සහ ජාලයන් සමඟ සම්බන්ධ කරමින් ශ්‍රී ලංකාවේ දෘඩාංග නවෝත්පාදන පරිසර පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා දරන පුළුල් උත්සාහයක කොටසක් ලෙස මෙම ‘Hardware Without Borders’ වැඩසටහන සංවිධානය කර තිබුණි.














