හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව රජය ක්‍රියා කරන ආකාරය දේශපාලන පළිගැනීමක් ලෙස හඳුන්වමින්, ඒ පිළිබඳව ජාත්‍යන්තර පාර්ලිමේන්තු සංගමය (IPU), එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ යුරෝපා පාර්ලිමේන්තුව ඇතුළු ජාත්‍යන්තර ආයතන වෙත පැමිණිලි කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ. පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් හිටපු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා විසින් පසුගියදා පැවැත්වූ මාධ්‍ය හමුවකදී මෙම තීරණය ප්‍රකාශයට පත් කළ අතර, රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව මෙවැනි පියවර ගැනීම රජයට ‘මහා ශාපයක්’ වනු ඇති බවට ද ඔහු එහිදී අනතුරු ඇඟවීය.
කෙසේ වෙතත්, මෙම ප්‍රකාශයෙන් පසු හරින් ප්‍රනාන්දු මහතාට මුහුණ දීමට සිදු වූ අපූරු සිදුවීමක් පිළිබඳව දේශපාලන කරළියේ කතාබහක් නිර්මාණය වී ඇත. ඔහු ව්‍යායාම් මධ්‍යස්ථානයක සිටියදී ලැබුණු නොදන්නා දුරකථන ඇමතුමකින්, රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රශ්නය ජාත්‍යන්තරයට රැගෙන යාම පිළිබඳව තර්ජනාත්මක ස්වරූපයෙන් ප්‍රශ්න කර තිබේ. එහිදී හරින් ප්‍රනාන්දු මහතා සිය සුපුරුදු සෘජු වාග් විලාසයෙන් ප්‍රතිචාර දැක්වීමත් සමඟ ඇමතුම ලබා දුන් පුද්ගලයා එය විසන්ධි කර ඇත.
පසුව හරින් ප්‍රනාන්දු මහතා ‘Truecaller’ යෙදුම හරහා අදාළ අංකය පරීක්ෂා කිරීමේදී අනාවරණය වී ඇත්තේ එම ඇමතුම උගන්ඩාවට සම්බන්ධ රාජකීය පවුලක කුමාරයෙකුගේ නමින් ලියාපදිංචි වී ඇති බවයි. මෙම අනපේක්ෂිත හෙළිදරව්වෙන් පසු ඔහු ඒ පිළිබඳව රනිල් වික්‍රමසිංහ මහතා ද දැනුවත් කර ඇති අතර, පසුගිය කාලසීමාව පුරා දේශපාලන වේදිකාවේ දැඩි කතාබහට ලක්වූ ‘උගන්ඩා සබඳතා’ පිළිබඳ මාතෘකාව මේ හරහා යළිත් හාස්‍යජනක මුහුණුවරකින් කරළියට පැමිණ තිබේ.














