මැදපෙරදිග කලාපයේ පවතින දරුණු යුදමය වාතාවරණය හේතුවෙන් ශ්‍රී ලංකාව මුහුණ දිය හැකි ආර්ථික බලපෑම් සහ අර්බුදකාරී තත්ත්වයන් කළමනාකරණය කර ගැනීම සඳහා විශේෂ බලතල සහිත කමිටු තුනක් පත් කර ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය අද (17) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය. රජය විසින් ගෙන ඇති මෙම ක්‍රියාමාර්ගය යටතේ ආහාර ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා කිසිදු හිඟයකින් තොරව ජනතාවට ලබාදීම සහ එම කාර්යයන් විධිමත්ව කළමනාකරණය කිරීමට එක් කමිටුවක් වගකීම් දරන අතර, පවතින අභියෝගාත්මක තත්ත්වය හමුවේ රාජ්‍ය සේවය අඛණ්ඩව පවත්වාගෙන යාම සහ රාජ්‍ය පරිපාලන කටයුතු සම්බන්ධීකරණය වෙනුවෙන් දෙවන කමිටුව ක්‍රියාත්මක වේ. මීට අමතරව රටේ පවතින බලශක්ති අවශ්‍යතාව සපුරා ගැනීම සහ ඉන්ධන ඇතුළු බලශක්ති සම්පත් පිරිමැසීම පිළිබඳ තීරණ ගැනීම සඳහා තෙවන කමිටුව පත් කර ඇති බවත්, මෙම කමිටු හරහා ගෝලීය අර්බුද හමුවේ මෙරට ආර්ථික ස්ථාවරත්වය රැකගැනීමට අවශ්‍ය සියලු පියවර ගන්නා බවත් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් අවධාරණය කළාය.














