අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තු අනු කමිටුවේදී මෙරට අධ්‍යාපන පද්ධතියේ ඉදිරි වෙනස්කම් පිළිබඳ තීරණාත්මක කරුණු කිහිපයක් සාකච්ඡා වී තිබේ.
පළමු ශ්‍රේණියේ නව ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය දැනටමත් ආරම්භ කර ඇති අතර එහි ප්‍රගතිය අඛණ්ඩව අධීක්ෂණය කිරීමට අග්‍රාමාත්‍යවරිය උපදෙස් දී ඇත. 6 ශ්‍රේණිය සඳහා වන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2027 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
පළමු ශ්‍රේණියේ දෙවන සහ තෙවන වාරය සඳහා වන ක්‍රියාකාරකම් පාදක පොත් මුද්‍රණය කිරීමට සූදානම් කර ඇති අතර, දෙවන වාරයට අදාළ ප්‍රායෝගික ක්‍රියාකාරකම් පොත් අප්‍රේල් පාසල් නිවාඩුවෙන් පසු සිසුන් වෙත ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.
නව ක්‍රමවේදයට අනුකූලව ගුරුවරුන් පුහුණු කිරීම සහ පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහන් මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතී.
6 ශ්‍රේණියට අදාළ සියලු අධ්‍යයන මොඩියුලයන් විශේෂ කමිටු හරහා යළි ගැඹුරින් සමාලෝචනය කරමින් පවතින බව නිලධාරීන් මෙහිදී අවධාරණය කළහ.
රටේ පවතින අභියෝගාත්මක වාතාවරණය මධ්‍යයේ වුවද, දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කඩිනමින් සහ විධිමත්ව ක්‍රියාත්මක කිරීම රජයේ අපේක්ෂාවයි.














