පිලිපීනයේ නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මැනිලා හිදී ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා මාලාවකට එක්වූවාය. මෙහිදී ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති Masato Kanda මහතා හමු වූ අග්‍රාමාත්‍යවරිය, ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට සහ දිගුකාලීන සංවර්ධන කටයුතු සඳහා එම බැංකුව ලබා දෙන සහයෝගය පිළිබඳව සාකච්ඡා කළාය.
මෙම සංචාරය අතරතුර අධ්‍යාපන, සෞඛ්‍ය සහ සමාජ සංවර්ධන ක්ෂේත්‍රවල පවතින ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කළ අතර, විශේෂයෙන් තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපන (TVET) අංශය ශක්තිමත් කිරීමේ වැදගත්කම අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය. එසේම මානව සම්පත් සංවර්ධනය සහ ඉගැන්වීම් ක්‍රියාවලියේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා අනාගත ආයෝජන යොමු කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය කෙරිණි. මැනිලා නිල සංචාරය හරහා ශ්‍රී ලංකාව සහ කලාපීය හවුල්කරුවන් අතර පවතින සබඳතා තවදුරටත් තහවුරු කිරීමට හැකි වූ බව වාර්තා වේ.














