හර්යානා ප්‍රාන්තයේ ගුර්ගාම් (Gurugram) හි පදිංචි 31 හැවිරිදි අන්ෂුල් ධවාන් නැමැති චාටඩ් ගණකාධිකාරීවරයා සිය 27 හැවිරිදි බිරිඳ වන මෙහක් (Mehak) ඝාතනය කිරීමේ චෝදනාව මත ජජර් (Jhajjar) පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පෙබරවාරි 15 වන දින වැලන්ටයින් දිනය සැමරීම සඳහා හිසාර් (Hisar) ප්‍රදේශයට ගොස් ආපසු එන අතරතුර මොහු මෙම ඝාතනය සිදු කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මියගිය මෙහක් පෞද්ගලික බැංකුවක සේවිකාවක වන අතර ඇය මිය යන විට පස් මස් ගැබිණියකව සිටි බව ද වාර්තා වේ. මොහු සිය බිරිඳගේ චරිතය පිළිබඳ සැක කිරීම හේතුවෙන් දෙදෙනා අතර නිතර ආරවුල් ඇති වී තිබෙන අතර මෙම ඝාතනය මාසයක් පුරා සැලසුම් කරන ලද්දක් බවට පොලීසිය සැක කරයි. බිරිඳගේ ගෙල සිර කර පසුව කතුරකින් ඇගේ ගෙල කපා මෙම ඝාතනය සිදු කර ඇති බවත්, පසුව ඇගේ ආභරණ ඇළකට විසි කර මෝටර් රථයේ වීදුරුවලට හානි කර මෙය මංකොල්ලකරුවන් විසින් කළ ප්‍රහාරයක් ලෙස පෙන්වීමට ඔහු උත්සාහ කර ඇති බවත් හෙළි විය.
කෙසේ වෙතත්, මොහු පොලීසියට ලබා දුන් ප්‍රකාශවල පරස්පරතා සහ සැකකටයුතු හැසිරීම හේතුවෙන් සිදු කළ දැඩි ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු වරද පිළිගෙන තිබේ. සැකකරු මේ වන විට පොලිස් අත්අඩංගුවේ පසුවන අතර මෙම ඝාතනයට ඔහුගේ පවුලේ වෙනත් සාමාජිකයන් සම්බන්ධ වී ඇත්ද යන්න පිළිබඳව ද හර්යානා පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.














