රටේ පවතින ඉන්ධන අර්බුදය සහ ඉන්ධන නැව් පැමිණීම සම්බන්ධයෙන් දෙරණ නාලිකාවේ ‘වාදපිටිය’ වැඩසටහනේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීනී ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය අතර දැඩි වාචික ගැටුමක් ඇති විය. මෙහිදී අජිත් මාන්නප්පෙරුම මහතා චෝදනා කළේ ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීතුමිය ඉන්ධන නැව් පැමිණීම පිළිබඳව අවිශ්වාසයක් පළ කරමින් ජනතාව අනියත බියකට පත් කරන බවයි. මීළඟ මාසයේ නැව් පැමිණීම පිළිබඳව ඇය සැක මතු කරන ප්‍රකාශ සිදු කිරීම නිසා පෝලිම් නිර්මාණය වන බව ඔහු පෙන්වා දුන්නේය.
මෙම චෝදනාවලට දැඩි ලෙස ප්‍රතිචාර දක්වමින් ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීතුමිය සඳහන් කළේ තමන් එවැනි වචන භාවිතා නොකළ බවයි. විවාදය අතරතුර අජිත් මාන්නප්පෙරුම මහතා මන්ත‍්‍රීවරියට ඉංග‍්‍රිසි පුළුවන් බව පෙන්වීමට උත්සාහ කරන බවටත්, එවැනි අය ජාත්‍යන්තරය හමුවේ ඉංග‍්‍රීසියෙන් කතා කර රට අපකීර්තියට පත් කර ඇති බවටත් කළ ප්‍රකාශයත් සමඟ තත්ත්වය තවත් උණුසුම් විය. එහිදී ඇය සෘජුවම අභියෝග කළේ, “වැඩිය කෑගැහුවොත් ඉංග්‍රීසියෙන් Debate කරනවා” යනුවෙනි.
ඇතැම් ඉන්ධන නැව් අවලංගු වීම සත්‍යයක් වුවද, සැපයුමේ අඛණ්ඩතාවය වෙනුවෙන් රජය විකල්ප ක්‍රියාමාර්ග සහ හදිසි මිලදී ගැනීම් සඳහා විශේෂ කමිටුවක් පත් කර ඇති බව මන්ත්‍රීවරිය වැඩිදුරටත් පැවසුවාය. විපක්ෂය සැමවිටම උත්සාහ කරන්නේ ජනතාව අතර සැකයක් සහ පෝලිම් නිර්මාණය කිරීමට බවත්, පෝලිම්වල සිටින ජනතාවගේ පීඩාව පිළිබඳව තමන්ට අවංක වේදනාවක් ඇති බවත් ඇය අවධාරණය කළාය.














