ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් හැටන් ලංගම ඩිපෝව මඟින් සියලුම නවීන පහසුකම්වලින් සමන්විත සුවිශේෂී සංචාරක සෆාරි බස් රථයක් ධාවනයට එක් කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.
මෙම සුවිශේෂී බස් රථය නිර්මාණය කර තිබෙන්නේ මීට වසර දෙකකට පෙර රත්මලාන ඩිපෝවෙන් ලබාගත් පැරණි බස් රථයක් ඉතා ආකර්ෂණීය අන්දමින් අලුත්වැඩියා කිරීමෙනුයි. මෙම සම්පූර්ණ ව්‍යාපෘතිය සඳහා රුපියල් ලක්ෂ 40 ක පමණ මුදලක් වැය කර ඇති අතර, මෙහි එකවර මඟීන් 42 කුට ගමන් කිරීමේ හැකියාව පවතිනවා.
සංචාරකයන්ට වඩාත් සුන්දර අත්දැකීමක් ලබා දීම සඳහා මෙහි වහලය සහ ජනෙල් විවෘත කර (Open-roof style) ගමන් කළ හැකි පරිදි සකස් කර තිබීම විශේෂත්වයක්. මීට අමතරව ස්ටීරියෝ නාද රටා සහිත උසස් ශබ්ද විකාශන පද්ධතියක්, ශීතකරණයක් සහ රූපවාහිනී යන්ත්‍රයක්ද මෙයට ඇතුළත් කර තිබෙනවා.
මෙම සෆාරි බස් රථය පූජනීය ශ්‍රී පාදස්ථානය සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ සුන්දර සංචාරක කලාප ආවරණය වන පරිදි ධාවනය කරවීමටයි බලධාරීන් සැලසුම් කර ඇත්තේ. හැටන් ලංගම ඩිපෝවේ කළමනාකාර පාලිත බණ්ඩාර මහතා විසින් පසුගියදා මෙම බස් රථයේ ප්‍රමිතිය සහ පහසුකම් පිළිබඳව විශේෂ නිරීක්ෂණයකද නිරත වුණා.














