හැටන් දික්ඔය ප්‍රදේශයේ පිහිටි වන රාජා වත්තේ යුකැලිප්ටස් වගා කර ඇති භූමියක අද (08) පස්වරුවේ හදිසි ගින්නක් හටගෙන තිබේ. මෙම ගින්න එම වතුයායේ තේ කර්මාන්තශාලාවට මායිම්ව පිහිටි ප්‍රදේශයේ හටගෙන ඇති අතර, කිසියම් පිරිසක් විසින් සිදුකළ ගිනි තැබීමක් හේතුවෙන් මෙය ආරම්භ වන්නට ඇති බවට සැක කෙරේ. පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය සහ වගා බිම පුරා පැතිර පවතින ඉලුක් පඳුරු හේතුවෙන් ගින්න ඉතා වේගයෙන් පැතිර යමින් පවතින බව වාර්තා වේ.
ගින්න හටගත් ස්ථානය තේ කර්මාන්තශාලාවට සහ ජනාවාසවලට ආසන්නව පිහිටා තිබීම හේතුවෙන් ප්‍රදේශවාසීන් සහ වතු සේවකයින් දැඩි බියට පත්ව සිටිති. තේ කර්මාන්තශාලාව ආසන්නයේ පදිංචි කිසියම් පිරිසක් විසින් ඉලුක් පඳුරු පිරිසිදු කිරීමට හෝ වෙනත් හේතුවක් මත තැබූ ගින්නක් පාලනයෙන් තොරව මෙලෙස පැතිර යන්නට ඇති බවට වතු බලධාරීන් සැක පළ කරයි. ගින්න පාලනය කිරීම සඳහා ප්‍රදේශවාසීන් උත්සාහ කළ ද, දැඩි සුළං තත්ත්වය හේතුවෙන් එය අසීරු වී ඇති බව පැවසේ.
මෙම ලැව්ගිනි තත්ත්වය හේතුවෙන් යුකැලිප්ටස් වගාවට මෙන්ම ප්‍රදේශයේ පරිසර පද්ධතියට ද දැඩි හානි සිදුවෙමින් පවතී. වියළි කාලගුණය පවතින මෙවැනි වකවානුවල කඳුකර ප්‍රදේශවල තණබිම් සහ වගාබිම්වලට ගිනි තැබීමෙන් වළකින ලෙස බලධාරීන් මහජනතාවගෙන් දිගින් දිගටම ඉල්ලා සිටියද, මෙවැනි විනාශකාරී ක්‍රියාවන් අඛණ්ඩව වාර්තා වෙමින් පවතී. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කිරීමට නියමිතය.














