එළඹෙන උත්සව සමයේ පාරිභෝගිකයන්ට ගුණාත්මක සහ සෞඛ්‍යාරක්ෂිත ආහාර ලබාදීමේ අරමුණින් හැටන් නගරයේ වෙළඳසැල් සහ ආපනශාලා විශේෂ පරීක්ෂාවකට ලක් කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද (07) පියවර ගෙන තිබේ. අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සහ හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එක්ව මෙම හදිසි වැටලීම සිදු කරන ලදී.
මෙහිදී හැටන් නගරයේ ආපනශාලා, තොග සහ සිල්ලර වෙළඳසැල් මෙන්ම බේකරි රැසක් පරීක්ෂාවට ලක් කළ අතර, පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කිරීම, අපිරිසිදු ලෙස ආයතන පවත්වාගෙන යාම සහ ලේබල් රහිත ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීම යන චෝදනා යටතේ වෙළඳසැල් හිමියන් 10 දෙනෙකුට එරෙහිව හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගෙන ඇත. තවත් වෙළඳුන් පිරිසකට පවතින අඩුපාඩු සපුරා ගැනීම සඳහා දින 14ක සහන කාලයක් ලබා දුන් බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී එස්. චන්ද්‍රරාජන් මහතා පැවසීය. උත්සව සමය අවසන් වන තෙක් මෙවැනි වැටලීම් අඛණ්ඩව සිදු කරන බව බලධාරීන් අවධාරණය කරයි.














