මැදපෙරදිග යුදමය තත්ත්වය හමුවේ මෙරට ඉන්ධන සංචිත කළමනාකරණය කිරීම සඳහා රජය විසින් අද (25) දිනය විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබියදී, හැටන් ප්‍රදේශයේ පවත්වාගෙන ගිය බාහිර උපකාරක පන්තියක් නතර කිරීමට හැටන් මූලස්ථාන පොලිසිය පියවර ගෙන තිබේ. හැටන් නගරයේ ප්‍රධාන දෙමළ පාසලක ගුරුවරුන් දෙදෙනෙකු විසින් හිජිරාපුර ප්‍රදේශයේ අවම පහසුකම් සහිත ස්ථානයක මෙම පන්තිය පවත්වන බවට ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු තොරතුරක් මත හැටන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ආර්.ඒ.ඩී. සුගතදාස මහතා ඇතුළු කණ්ඩායමක් එම ස්ථානයට ගොස් තිබේ.
එහිදී අදාළ ගුරුවරුන් දෙදෙනා දැනුවත් කළ පොලිස් නිලධාරීන්, පන්තියට සහභාගී වී සිටි සිසුන් වහාම නිවෙස් කරා පිටත් කර යැවීමට කටයුතු කළහ. රජය විසින් අද දිනයේ පාසල් නිවාඩු ලබා දී තිබුණේ බලශක්ති අර්බුදය හමුවේ ගමනාගමනය සීමා කිරීමේ අරමුණින් වන අතර, එදිනට බාහිර පන්ති නොපවත්වන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය ද චක්‍රලේඛයක් මඟින් ගුරුවරුන්ට උපදෙස් දී තිබුණි. එවැනි පසුබිමක නිල නියෝග උල්ලංඝනය කරමින් පන්ති පැවැත්වීම සම්බන්ධයෙන් පොලිසිය සිය දැඩි අප්‍රසාදය පළ කර ඇත.














