හවායි දූපත් වෙත බලපා ඇති අතිශය දරුණු කුණාටු සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ප්‍රාන්තය පුරා හදිසි ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර දහස් සංඛ්‍යාත පිරිසකට සිය නිවාසවලින් ඉවත් වන ලෙස බලධාරීන් නියෝග කර තිබේ. හවායි ආණ්ඩුකාර ජෝෂ් ග්‍රීන් පවසන්නේ විශේෂයෙන්ම ඕහු (Oahu) සහ මාවුයි (Maui) දූපත්වලට හදිසි ගංවතුර තත්ත්වයන්ගෙන් දැඩි තර්ජනයක් එල්ල වී ඇති බවයි. මෙම සති අන්තයේ බලපෑ කුණාටුව පසුගිය සතිය ඇතුළත හවායි දූපත් සමූහයට බලපෑ දෙවන දරුණුතම ස්වභාවික විපත්තිය වන අතර, ඇතැම් ප්‍රදේශවලට පසුගිය දින 10 තුළ අඟල් 40 සිට 50 දක්වා (සෙන්ටිමීටර 127ක් පමණ) දැවැන්ත වර්ෂාපතනයක් ලැබී ඇති බව වාර්තා වේ.
මෙම කුණාටුව “කෝනා ලෝ” (Kona Low) ලෙස හැඳින්වෙන අඩු පීඩන කලාපයක් හේතුවෙන් හටගෙන ඇති අතර, එමගින් පැයට සැතපුම් 100ක පමණ වේගයෙන් හමා යන තද සුළං සහ අඛණ්ඩ වර්ෂාව ඇති කර තිබේ. මේ වන විට පුද්ගල මරණ වාර්තා වී නොමැති වුවද, නිවාස සහ වාහන ගංවතුරට හසුවීම නිසා හොනොලුලු (Honolulu) අගනුවරට උතුරින් පදිංචි වැසියන් 5,500කට පමණ වහාම ඉවත් වීමට නියෝග කර ඇත. හොනොලුලු නගරාධිපති රික් බ්ලැන්ගාර්ඩි පවසන්නේ මේ වන විට පුද්ගලයන් 230කට අධික පිරිසක් ආපදා සහන කණ්ඩායම් විසින් බේරාගෙන ඇති බවත්, සිදුවී ඇති දේපළ හානිය ඇමෙරිකානු ඩොලර් බිලියනයකට වඩා වැඩි විය හැකි බවත්ය.
වඩාත්ම අවදානම් සහගත තත්ත්වය වන්නේ ඕහු දූපතේ පිහිටි වේල්ලක් කැඩී යාමේ අවදානමකට ලක්ව තිබීමයි. මීට පෙර ඇදහැලුණු වර්ෂාව නිසා පොළොව දැනටමත් ජලයෙන් සංතෘප්ත වී ඇති බැවින්, සුළු වර්ෂාපතනයක් පවා දරුණු ගංවතුරක් හෝ නායයෑමක් ඇති කිරීමට ප්‍රමාණවත් බව ආණ්ඩුකාරවරයා අනතුරු අඟවයි. ගුවන් තොටුපළවල්, පාසල්, මාර්ග සහ රෝහල්වලට දරුණු හානි සිදුවී ඇති අතර, අවතැන් වූ පිරිස් සඳහා හෝටල් ගාස්තු සහන ලබාදීමේ වැඩසටහනක් ද රජය මගින් ක්‍රියාත්මක කර තිබේ. 2023 වසරේ ලැහයිනා ලැව්ගින්නෙන් පසු හවායි දූපත් මුහුණ දෙන විශාලතම ස්වභාවික විපත්තිය මෙය ලෙස සැලකේ.












