ගම්පහ – ජා-ඇල ප්‍රධාන මාර්ගයේ කිරිඳිවිට ප්‍රදේශයේදී අද (26) සිදුවූ දරුණු රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ජා-ඇල දෙසට ධාවනය වූ ලොරි රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි කුඩා ලොරි රථයක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව ගම්පහ පොලිසිය වාර්තා කරයි.
අනතුරෙන් බරපතල තුවාල ලැබූ කුඩා ලොරි රථයේ ගමන් කළ පුද්ගලයෙකු රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇත. මෙලෙස මියගොස් ඇත්තේ ජා-ඇල ප්‍රදේශයේ පදිංචිව සිටි 49 හැවිරිදි පුද්ගලයෙකි. අධික වේගය පාලනය කර ගැනීමට නොහැකි වීම අනතුරට හේතුව වන්නට ඇති බවට මූලික විමර්ශනවලදී සැක කෙරේ.
සිද්ධිය සම්බන්ධයෙන් අනෙක් ලොරි රථයේ රියදුරු ගම්පහ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මියගිය පුද්ගලයාගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය ගම්පහ රෝහලේදී පැවැත්වීමට නියමිත අතර, ගම්පහ පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.














