සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (13) මහනුවරදී මල්වතු සහ අස්ගිරි මහා විහාරීය මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බැහැදැක ආගමික වත්පිළිවෙත්වල නිරත වෙමින් ආශිර්වාද ලබා ගත්තේය. එහිදී අමාත්‍යවරයා විසින් තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක හිමියන් සහ වරකාගොඩ ශ්‍රී ඥානරතන මහානායක හිමියන් බැහැදැක, ඉදිරියේදී පැවැත්වීමට නියමිත සම්ප්‍රදායික ‘රාජ්‍ය හිසතෙල් ගෑමේ’ මංගල්‍යය පිළිබඳව උන්වහන්සේලා දැනුවත් කර එම අවස්ථාවට සහභාගී වන ලෙස නිල වශයෙන් ආරාධනා කරනු ලැබීය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන) සහ දේශීය වෛද්‍ය කොමසාරිස් යූ. එස්. කේ. දේනුවත්ත, අතිරේක ලේකම් සමන්ති රණසිංහ, ආයුර්වේද කොමසාරිස් ජනරාල් ඒ. එම්. ජී. එන්. දීප්ති සුමනසේන සහ ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපතිනී ගීතාමණී සී. කරුණාරත්න යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ. නව රජය යටතේ පැවැත්වෙන ප්‍රථම රාජ්‍ය හිසතෙල් ගෑමේ උත්සවය බැවින් ඒ සඳහා වන සියලු කටයුතු සම්ප්‍රදායානුකූලව සංවිධානය කිරීමට අමාත්‍යවරයා එහිදී මහානායක හිමිවරුන් වෙත සහතික විය.














