දිවයිනේ දිස්ත්‍රික්ක රැසකට බලපා ඇති උෂ්ණාධික කාලගුණික තත්ත්වය එළැඹෙන මැයි මස 25 වැනිදා දක්වා තවදුරටත් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (14) පුරෝකථනය කළේය. පවතින අන්තර් මෝසම් කාලගුණික රටාව හේතුවෙන් මෙලෙස උෂ්ණත්වය ඉහළ ගොස් ඇති අතර, ඇතැම් ප්‍රදේශවල මිනිස් සිරුරට දැනෙන උණුසුම ‘වැඩි අවධානයක්’ (Great Caution) යොමු කළ යුතු මට්ටම දක්වා ඉහළ ගොස් තිබේ.
විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලත්, මොනරාගල සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් උණුසුම් දර්ශකය 45°C අගය ඉක්මවා ගොස් ඇති බව වාර්තා වේ. මෙම තත්ත්වය හමුවේ සෞඛ්‍ය අංශ අවධාරණය කරන්නේ පාසල් ක්‍රීඩා උත්සව ඇතුළු එළිමහන් කටයුතු සීමා කළ යුතු බවයි. දැඩි අව් රශ්මිය මැද ක්‍රීඩා කිරීමෙන් දරුවන්ට සෞඛ්‍ය අවදානම් මතු විය හැකි බැවින් වෛද්‍යවරුන් විසින් පූර්ව ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස පාසල් බලධාරීන්ගෙන් සහ දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියි.













