මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ මෙරට ඉන්ධන හිඟයක් ඇතිවිය හැකි බවට පවතින අනියත බිය හේතුවෙන් මහනුවර නගරයේ ඉන්ධන පිරවුම්හල් අසල අද (01) දිනයේ දැඩි තදබදයක් නිර්මාණය වී තිබේ. වාහන හිමියන් විශාල වශයෙන් පිරවුම්හල් වෙත පැමිණීම නිසා බොහෝ ස්ථානවල කිලෝමීටර් ගණනාවක් දිගු පෝලිම් දක්නට ලැබෙන අතර, ජනතාවට පැය කිහිපයක් පෝලිම්වල රැඳී සිටීමට සිදුව ඇත.
පවතින අධික ඉල්ලුම සහ තදබදය පාලනය කිරීම සඳහා මහනුවර ප්‍රදේශයේ බොහෝ පිරවුම්හල් හිමියන් කෑන් සහ බෝතල්වලට ඉන්ධන නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ. පොලිස් මූලස්ථානය විසින් නිකුත් කරන ලද උපදෙස්වලට අනුව, අත්‍යවශ්‍ය කෘෂිකාර්මික හෝ ධීවර කටයුතු සඳහා පමණක් බලපත්‍ර මත භාජනවලට ඉන්ධන ලබා දෙන ලෙසත්, අනවශ්‍ය ලෙස ඉන්ධන රැස් කරන පුද්ගලයන් පිළිබඳව විමර්ශන පවත්වන ලෙසත් ආරක්ෂක අංශ වෙත දැනුම් දී ඇත.
කෙසේ වෙතත්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අවධාරණය කරන්නේ මෙරටට අවශ්‍ය ඉන්ධන සංචිත ප්‍රමාණවත් පරිදි පවතින බැවින් මහජනතාව කලබල වී ඉන්ධන රැස් කිරීමෙන් වැළකී සිටිය යුතු බවයි. අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙසත්, ඉන්ධන පෝලිම්වල රැඳී සිටීමෙන් සිදුවන කාලය නාස්තිය සහ අනවශ්‍ය තදබදය වළක්වා ගැනීමට සහය වන ලෙසත් බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
















