ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින්, නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය තවදුරටත් එම ප්‍රදේශය ආශ්‍රිතව ස්ථායීව පවතින බව අද (18) නිකුත් කළ වාර්තාවල දැක්වේ. මෙම තත්ත්වය හේතුවෙන් අද සවස් කාලයේදී දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරයි.
මෙම පද්ධතියේ බලපෑමෙන් අදාළ මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමීටර් 50ත් 60ත් අතර වේගවත් සුළං ඇති විය හැකි අතර මුහුදු ප්‍රදේශ රළු හෝ ඉතා රළු වීමට ඉඩ පවතී. මේ හේතුවෙන් ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවිය යුතු අතර දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ සැලකිලිමත් වන ලෙස දැනුම් දී තිබේ.
අඩු පීඩන කලාපය හේතුවෙන් ඇති විය හැකි හදිසි ගංවතුර තත්ත්වයන් හෝ අකුණු අනතුරු පිළිබඳව ගොඩබිම වෙසෙන මහජනතාව ද අවධානයෙන් පසුවීම වැදගත් වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මෙම පද්ධතියේ හැසිරීම පිළිබඳව නිරන්තරව අධීක්ෂණය කරමින් සිටින අතර ඒ අනුව ඉදිරි අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට නියමිතය.














