මෙරට පවතින දැඩි බලශක්ති අර්බුදය සහ විදුලි කප්පාදුවක් සිදුවීමේ අවදානම සම්බන්ධයෙන් අද (17) පාර්ලිමේන්තුවේ පැවැති විවාදය අතරතුර සමගි ජන බලවේගයේ මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා සහ බලශක්ති අමාත්‍යවරයා අතර දැඩි උණුසුම් වචන හුවමාරුවක් සිදුවිය. පවතින අර්බුදය පාලනය කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් චෝදනා කරමින්, “ඔබ තවදුරටත් ධුරයේ රැඳී සිටිනවාද නැතිනම් ඉල්ලා අස්වෙනවාද?” යනුවෙන් හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රීවරයා අමාත්‍යවරයාගෙන් සෘජුවම ප්‍රශ්න කළේය.
මෙම ප්‍රශ්න කිරීමත් සමඟ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර වාද විවාද හටගත් අතර මැතිසබය තුළ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් නිර්මාණය විය. මැදපෙරදිග පවතින ඉරාන-ඇමරිකානු ගැටුම් හමුවේ මෙරට ඉන්ධන සැපයුමට බාධා එල්ල වී ඇති බවත්, ඒ හේතුවෙන් ඉදිරි මාසවලදී විදුලි උත්පාදනය අර්බුදයකට ලක්ව ඇති බවත් මෙහිදී විපක්ෂය පෙන්වා දුන්නේය. රජය ජාත්‍යන්තර තත්ත්වයන් නිසි ලෙස කළමනාකරණය කිරීමට අපොහොසත් වී ඇති බවට මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.















