ලොව පුරා අතිශය ජනප්‍රිය ‘Hello Kitty’ චරිතය දශක හතරකට අධික කාලයක් පෝෂණය කළ එහි ප්‍රධාන නිර්මාණශිල්පිනිය වන යුකෝ යමගුචි (Yuko Yamaguchi) සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. 1980 වසරේදී මෙම චරිතයේ නිර්මාණ කටයුතු භාරගත් ඇය, වසර 46ක් පුරා ‘Hello Kitty’ ගෝලීය සන්නාමයක් බවට පත්කිරීමට සුවිශේෂී දායකත්වයක් ලබා දුන්නාය. ජපානයේ ‘Kawaii’ (හුරතල්) සංස්කෘතිය ලොව පුරා ප්‍රචලිත කිරීමෙහිලා ඇයගේ මෙහෙවර අතිමහත්ය.
‘Hello Kitty’ පිළිබඳව බොහෝ දෙනා නොදන්නා කරුණු කිහිපයක් ද මෙම සමුගැනීමත් සමඟ යළි කරළියට පැමිණ ඇත. ඇය බළලෙකු නොව ලන්ඩනයේ උපන් කුඩා දැරියක ලෙස ‘Sanrio’ ආයතනය හඳුන්වා දී තිබේ. මුඛයක් නොමැති චරිතයක් ලෙස නිර්මාණය කර ඇති ‘Hello Kitty’, මේ වන විට ඇඳුම් පැළඳුම්, වීඩියෝ ක්‍රීඩා සහ ගුවන් යානා පවා සරසන මට්ටමට වර්ධනය වී ඇත. 70 හැවිරිදි වියේ පසුවන යමගුචි මහත්මිය “ඊළඟ පරම්පරාවට යෂ්ටිය භාර දුන්” බව Sanrio ආයතනය නිවේදනය කර ඇති අතර, 2026 අවසානය වන විට “අයා” (Aya) නැමැති නිර්මාණශිල්පිනිය එම වගකීම භාරගනු ඇත.
තවද, 2028 වසරේදී Warner Bros සමාගම හරහා ‘Hello Kitty’ සිය ප්‍රථම සිනමා නිර්මාණයට ද පිවිසීමට නියමිතය. යුකෝ යමගුචි සෘජුව නිර්මාණ කටයුතුවලින් ඉවත් වුවද, උපදේශිකාවක ලෙස දිගටම Sanrio ආයතනය සමඟ කටයුතු කරනු ඇත.














