මහනුවර ඓතිහාසික පත්තිනි මහා දේවාලයේ බස්නායක නිලමේ ධුරය සඳහා අද (06) පැවැති ඡන්ද විමසීමෙන් හේමන්ත බණ්ඩාර හේරත් මහතා තෙවන වරටත් තේරී පත් විය. බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ගාමිණි සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මෙම නිලවරණය පැවැත්වුණි.
ඡන්ද විමසීමේ ප්‍රධාන තොරතුරු මෙසේය. හේමන්ත බණ්ඩාර හේරත් මහතා ඡන්ද 14ක් ලබාගත් අතර ඔහු සමඟ තරඟ වැදුණු ලංකාතිලක විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ ප්‍රියන්ත අමුණුගම මහතාට හිමිවූයේ ඡන්ද 08ක් පමණි. හේමන්ත බණ්ඩාර හේරත් මහතාගේ නම මහනුවර නාථ දේවාලයේ බස්නායක නිලමේ එස්. බණ්ඩාරනායක මහතා විසින් යෝජනා කර අලවතුගොඩ සමන් දේවාලයේ බස්නායක නිලමේ භාෂණ කුලතුංග මහතා විසින් ස්ථිර කරන ලදී.
මෙම නිලවරණය සඳහා රජමහා විහාරාධිපති හිමිවරුන්, බස්නායක නිලමේවරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු 24 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටියහ. මහනුවර විෂ්ණු මහා දේවාලයේ බස්නායක නිලමේ මහේන් රත්වත්තේ මහතා ඡන්දය දීම සඳහා පැමිණ නොසිටි අතර, ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ සහය හිමිව තිබුණේ ද හේමන්ත බණ්ඩාර හේරත් මහතාටය.














