ඇෆ්ගනිස්ථානයේ බටහිර හේරත් (Herat) පළාතේ එන්ජිල් දිස්ත්‍රික්කයේ පිහිටි විනෝද චාරිකා ස්ථානයකදී සන්නද්ධ පිරිසක් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් සිවිල් වැසියන් පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ. පසුගිය සිකුරාදා දින දේශීය සිද්ධස්ථානයක් අසල විනෝද වෙමින් සිටි පිරිසක් ඉලක්ක කර ගනිමින් යතුරුපැදිවලින් පැමිණි තුවක්කුකරුවන් මෙම ප්‍රහාරය එල්ල කර ඇත.
සිද්ධියෙන් මියගිය සංඛ්‍යාව පිළිබඳව විවිධ වාර්තා පළ වන අතර, තලේබාන් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසන්නේ පුද්ගලයන් හත් දෙනෙකු මියගොස් ඇති බවයි. කෙසේ වෙතත්, ප්‍රාදේශීය රෝහලක වෛද්‍යවරයෙකු බීබීසී පුවත් සේවයට පවසා ඇත්තේ පුද්ගලයන් 12 දෙනෙකු මියගොස් තවත් 12 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. මෙම ප්‍රහාරයට ලක්වූවන් හසාරා (Hazara) සුළුතර ෂියා මුස්ලිම් ප්‍රජාවට අයත් පිරිසක් බව ද එම වෛද්‍යවරයා තහවුරු කළේය.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු කණ්ඩායමක් භාරගෙන නොමැති අතර, ආරක්ෂක අංශ විසින් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. ඇෆ්ගනිස්ථානයේ සුළුතර ෂියා මුස්ලිම්වරුන් ඉලක්ක කර ගනිමින් මීට පෙරද අවස්ථා කිහිපයකදී මෙවැනි ප්‍රහාර එල්ල වී තිබේ.














