ඉරාන-ඊශ්‍රායල යුද්ධය තවදුරටත් ව්‍යාප්ත කරමින්, ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය විසින් අද (මාර්තු 03) උදෑසන උතුරු ඊශ්‍රායලයේ ජනාවාස ඉලක්ක කර ගනිමින් ප්‍රබල මිසයිල ප්‍රහාර මාලාවක් දියත් කර තිබේ. ලෙබනන් දේශසීමාවට ආසන්නයේ පිහිටි Kfar Tebnit, Taybeh සහ Majdal Selm යන ප්‍රදේශවල ගුවන් ප්‍රහාරක සයිරන් හඬ (Red Alerts) අඛණ්ඩව නාද වන බවත්, ජනතාවට වහාම ආරක්ෂිත බංකර් කරා යන ලෙස ඊශ්‍රායල ආරක්ෂක අංශ (IDF) උපදෙස් දී ඇති බවත් වාර්තා වේ. මෙම ප්‍රහාරය අයතුල්ලා අලි කාමේනි ඝාතනයට පළිගැනීමක් ලෙස සහ ඉරානයට සහය පළ කිරීමක් ලෙස සිදු කරන බව හිස්බුල්ලා සංවිධානය සිය ටෙලිග්‍රෑම් නාලිකාව හරහා නිවේදනය කර ඇත.
මේ අතර, හිස්බුල්ලා සංවිධානයේ මෙම මැදිහත්වීමට ප්‍රතිචාරයක් ලෙස ඊශ්‍රායල හමුදාව ලෙබනනය තුළ “ප්‍රහාරාත්මක මෙහෙයුමක්” (Offensive Campaign) ආරම්භ කර තිබේ. ලෙබනනයේ දකුණු දිග ගම්මාන 50කට අධික සංඛ්‍යාවක වැසියන්ට වහාම ඉවත් වන ලෙස ඊශ්‍රායලය අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, අද උදෑසන වන විට ලෙබනනය තුළ ඉලක්ක 70කට අධික සංඛ්‍යාවකට ඊශ්‍රායල ගුවන් ප්‍රහාර එල්ල වී ඇත. හිස්බුල්ලා බුද්ධි අංශ ප්‍රධානී හුසේන් මුකලෙඩ් ද මෙම ප්‍රහාරවලින් මියගොස් ඇති බව තහවුරු වී ඇති අතර, ලෙබනන් අගමැති නවාෆ් සලාම් (Nawaf Salam) විසින් හිස්බුල්ලා සංවිධානයේ සියලුම යුදමය කටයුතු තහනම් කරමින් රජයේ පාලනයට නතු වන ලෙස නියෝග කර තිබේ.














