හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය (HIPG) විසින් වරායේ බහාලුම් හැසිරවීමේ ධාරිතාව ඉහළ නැංවීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 108ක දැවැන්ත ආයෝජනයක් සිදු කිරීමට අදාළ ගිවිසුම්වලට අත්සන් තබා තිබේ.
මෙමඟින් හම්බන්තොට වරායේ මෙහෙයුම් ධාරිතාව සැලකිය යුතු ලෙස පුළුල් වන අතර ඉන්දියානු සාගර කලාපයේ ප්‍රමුඛතම සහ වර්ධනය වන සැපයුම් මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ පිහිටීම තවදුරටත් ශක්තිමත් කිරීමට අපේක්ෂිතය. මෙම නව ආයෝජනය යටතේ අතිනවීන දැවැන්ත දොඹකර (Quay Cranes), රබර් ටයර් සහිත ගැන්ටි දොඹකර (RTGs) සහ ට්‍රේලර් රථ රැසක් වරාය පරිශ්‍රයට හඳුන්වා දීමට නියමිතව ඇත. මේ හරහා ලෝකයේ පවතින විශාලතම බහාලුම් නෞකා හැසිරවීමේ සුවිශේෂී හැකියාව හම්බන්තොට වරායට හිමි වනු ඇත.
මෙම ව්‍යාපෘතියේ තවත් විශේෂත්වයක් වන්නේ සාම්ප්‍රදායික පද්ධතිවලින් බැහැරව වඩාත් තිරසාර සහ පරිසර හිතකාමී විද්‍යුත් මෙහෙයුම් (Electric Operations) වෙත යොමු වෙමින් වරායේ කාර්යක්ෂමතාවය උපරිම මට්ටමකට වර්ධනය කර ගැනීමයි. මෙම සමස්ත ව්‍යාප්ති කටයුතු සම්පූර්ණයෙන් අවසන් වූ පසු, හම්බන්තොට වරායේ වාර්ෂික බහාලුම් හැසිරවීමේ ධාරිතාව TEU (Twenty-foot Equivalent Unit) මිලියන 2ක් දක්වා ඉහළ යනු ඇතැයි ගණන් බලා ඇත. ඒ අනුව එකවර විශාල ප්‍රමාණයේ නෞකා කිහිපයකටම කඩිනම් සේවා සැපයීමේ හැකියාව වරායට උදාවන අතර, එමඟින් ඉහළ යන ගෝලීය නාවික ඉල්ලුමට සාර්ථකව මුහුණ දීමට ශ්‍රී ලංකාවට මංපෙත් විවර වනු ඇත.













