කොත්මලේ රම්බඩ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී අඩි 120ක ප්‍රපාතයකට පෙරළුණු වාහනයක සිරවී සිටි සිය මව, පියා සහ සහෝදරියගේ ජීවිත බේරාගැනීම සඳහා 12 හැවිරිදි හිරණිත නැමැති කුඩා දරුවා දැක්වූ අසාමාන්‍ය වීරත්වය කාගේත් කතාබහට ලක්ව තිබේ. අනතුරින් තුවාල ලබා සිටියද, ගන අඳුර සහ මහා ප්‍රපාතය නොතකා හිරණිත ඉහළට පැමිණ මහපාරේ යන වාහනවලින් උදව් ඉල්ලා සිටියේ තම පවුලේ අයගේ ජීවිත බේරාගැනීමේ අදිටනින් යුතුවය.
කොත්මලේ ගාමිණී දිසානායක ජාතික පාසලේ ඉගෙනුම ලබන, බොහෝ දෙනා ‘චූටි’ යන නමින් හඳුන්වන මෙම කුඩා දරුවා, තුවාලවලින් ලේ වෑහෙද්දී පවා නොසැලී පාරට පැමිණ වාහනයකට සංඥා කර පිහිට පතා ඇත. අවසානයේ ලොරි රථයක සහාය ඇතිව පොලිසිය සහ රෝහල් බලධාරීන් දැනුවත් කිරීමට ඔහු සමත් වූ අතර, අඩි 120ක ප්‍රපාතයේ සිරවී සිටි පවුලේ සාමාජිකයන් සියලු දෙනා බේරාගැනීමට ඒ අනුව හැකි විය. වයසින් කුඩා වුවද හිරණිත පෙන්වූ මෙම මහා ශක්තිය වීර ක්‍රියාවක් ලෙස රට පුරා ප්‍රසිද්ධියට පත්ව ඇත.














